දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, January 26, 2020

කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

Aponogeton  නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි. එයින් විශේෂ හතරක් ලංකාවට ආවේණික මෙන්ම දුර්ලභ ද වේ. මෙහිදී විස්තර කරන විශේෂය දේශීය වන අතර එය ද තර්ජනයට ලක්විය හැකි අවධියක පසුවන බව උද්භිද විද්‍යා මූලාශ්‍රවල සඳහන්ව ඇත. කශේරු යනුවෙන් ද හඳුන්වන කෙකටිය සෙ.මි. 5 පමණ විශ්කම්භයක් සහිත පත්‍යණ්ඩාභ අලයකියන් යුත් නිමග්න ජලජ පැලෑටියකි. අනෙක් විශේෂ තුනට වඩා මෙහි විස්තර කරන විශේෂයේ අලය විශාලවට වැඩීම අනෙක් වර්ගවලින් වෙන්කර ගැනීම පහසු කරවයි. සෙ.මි. 50 දක්වා දිගට සහ සෙ.මි. 4.5 පළල පත්‍රවල හැඩය බොහෝ විට පටු ලංසාකාර හෝ පටු අණ්ඩභ වේ. පත්‍ර දාරය තරංගී හෝ රැලි සහිත ආකාරයකි. පත්‍ර බොහෝමයක් ජලය තුල ගිලී පවතී.  කුඩා මල් සහිත අලංකාරවත් පුෂ්ප මංජරිය සෙ.මි. 13 පමණ වන දිගු වන අතර අක්ෂය සෙ.මි. 75 පමණ දිගට වැඩේ. සුවඳැති මල් සුදු, රෝස හෝ ළා දම් පැහැති ය. Aponogeton natans නම් දේශීය කෙකටිය විශේෂයේ පත්‍ර ජලය මත වැඩෙන අතර පත්‍රවල ප්‍රමාණය කුඩා මෙන්ම හැඩය ද තරමක් වෙනස් ආකාරයක් ගනී. කෙකටිය  Aponogetonaceae උද්භිද කුලය අයත් ශාක විශේෂයන් ය.

අක්ෂි රෝග, ජර්දි, අතීසාර, ග්‍රහණි, විසූචිකා, රක්ත අතීසාර, රක්ත අර්ශස්, ප්‍රදර රෝග, සෝම රෝග, ප්‍රමේහ, වමනය, ශරීර දුර්වලතා, විසර්ප ආදියට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් කෙකටිය ශාකයේ අල සහ මල් භාවිතා කරයි. කෙකටිය ඇසට හිතකර, වණවල ඉදිමුම් සමනය කරන, දාහය සංසිඳුවන, වමනය වලක්වන, ශුක්‍ර වඩවන, ආහාර රුචිය ඇති කරවන, හෘදය බලගන්වන, මව්කිරි ජනනය කරන ආදී ගුණයන් රැසකින් සමන්විතයි.  

විසර්පවලට කෙකටිය අල ගිතෙලින් අඹරා ආලේප කරයි. අතීසාරයට අල තැම්බූ ජලය හෝ කෂාය බොන්නට දෙයි. ඇස් රෝගවලට වැල්මී සමඟ අඹරා පුරවලියන් යොදයි. කහ උණ සඳහා කෙකටිය මල්වලින් කැඳ සාදා බොන්නට දෙයි. කෙකටිය අල තම්බාගත් ජලය, මී පැණි සහ වී පොරි සමඟ කලවම් කොට බීමෙන් වමනයට සහනය ලැබේ. තෘෂ්ණ හෙවත් පිපාසයට මල් හෝ අල තැම්බූ වතුර පානය කිරීම ගුණ ය. අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳින අයට කැඳ පිණිස පානයට දීම හෝ සම්පූර්ණ පැළයම තම්බා පානයට දීම හිතය. ගර්භනී මව්වරුන්ට ගර්භය නිසිලෙස ස්ථාපනය වීමට කෙකටිය අල බැද තම්බා කෑමට දෙයි. ප්‍රමේහ රෝගීන්ට ආහාරයක් ලෙස අල හෝ මල් කුමන ආකාරයකින් හෝ සකසා දීමත්, කෂය ලෙස සකසා දීමත් සිදු කරයි. දරුවන් ලැබූ මව්වරුන්ට ලේ වහනය වැලැක්වීමටත්, කිරිදෙන මව්වරුන්ට මව්කිරි වැඩීමටත් අල සහ මල් කැඳ සහ ව්‍යංජන ලෙස සකසා දීම ගුණදායක ය. 

කෙකටිය අල ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගනී. එමෙන්ම අල තම්බා පොල් සමඟ ආහාරයට එක්කර ගත හැකිය. එය ශරීර ශක්තිය වඩවන ආහාරයක් ලෙස සැලකේ. කෙකටිය මල් ද (මල් සහ මල් නටුව) කිරට සහ තෙල් දමා ප්‍රනීත ව්‍යංජනයක් ලෙස පිස ගත හැකිය. කෙකටිය ආහාරයට ගැනීමෙන් පිත කෝප වී හට ගන්නා ඇඟපත දැවිල්ල, මුත්‍රා දැවිල්ල, බඩ දැවිල්ල, මල මාර්ගයේ දැවිල්ල ආදී පීඩාකාරී අවස්ථාවන් මඟ හරවා සහනයක් සලසා ගැනීමට හැකි වේ.



මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ අනුග්‍රහය_ වෛද්‍ය සංජීව රූපසිංහ (මෙහි ඉහල ඡායාරූපයේ දක්වා ඇත්තේ Aponogeton natans නම් දේශීය කෙකටිය විශේෂයයි)
කෙකටිය මල්
Share:

Monday, January 20, 2020

බිංතඹුරු [Bintamburu] (Ipomoea pes-caprae)

බිංතඹුරු මුහුදු වෙරළ අසබඩ සුලබව හමුවන, බිම දිගේ වැඩෙන බහු වාර්ෂික වැල් ශාකයකි. ඝන වූ මුදුන් මුලක් දරන අතර බොහෝ විට පර්වයන්ගෙන් මුල් හට ගනී. මාංසල සරල පත්‍ර ඒකාංශ, අණ්ඩාකාර, ප්‍රත්‍යණ්ඩකාර, ඉලිප්සාකාර, වක්‍රාකාර ආදී විවිධ හැඩන් ගනී. පත්‍රයක් දිගින් සෙ.මි. 3-10 පමණ වේ. පත්‍ර පාදය කීලාකාර හෝ ලූප්ත වේ. පත්‍ර අග්‍රය බොහෝ විට නතාග්‍ර වන අතර ඇතැම් විට ලූප්ත විය හැකිය. පුෂ්ප මංජරියේ බොහෝ විට තනි පුෂ්පයක් දරන අතර ඇතැම් විට බහු අක්ෂයකි. තරමක් විශාල පුනීලාකාර මල් රෝස පාටට හුරු දම් පාට ය. කලාතුරකින් සුදු පැහැති මල් හට ගන්නා ප්‍රභේදයක් හමුවන අතර එය එළ බිංතඹුරු යනුවෙන් හඳුන්වයි. ඵලය කොටස් හතරකට බෙදුණු ස්ඵෝටිකාවකි. ඒ තුල මි.මි. 6-10 පමණ වන දුඹුරු හෝ කළු පැහැති බීජ පිහිටා තිබේ. මෙවැනිම බිංතඹුරු නමින් හඳුන්වන  Ipomoea asarifolia නම් විශේෂයක් ද ලංකාවෙන් හමුවන අතර එය මෙරටට ආගන්තුකව පැමිණි ශාකයක් ලෙස සැලකේ. බිංතඹුරු Connvolvulaceae උද්භිද කුලය අයත් ශාක විශේෂයකි. 

ආමවාත, වාතරක්ත, රක්තවාත, පූයමේහ, අන්ත්‍රශූල, සන්ධිශූල, කුෂ්ඨ, විෂ, කාස, ගුල්ම, උදරරෝග, වණ, වණ සහිත ඉදිමුම්, රක්තප්‍රදර, අර්ශස්, උදරාධ්මාන, අජීර්ණ, ශරීර දාහය, රක්තහීනතාවය, සුප්තවාත, ස්නායු දුර්වලතා, අස්ථි භග්න ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කීමට බිංතඹුරු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. බිංතඹුරු වමනකාරක, විරෙචක, රක්ත‍ශෝධක, මුත්‍රකාරක, ඉදිමුම් සමනය කරන, ශක්තිජනක, විෂනාශක ආදී ගුණ සහිතයි. බිංතඹුරු ක්වාතය, බිංතඹුරු ස්වරසය බිංතඹුරු යොදා නිපදවන ඖෂයන් ය.

වළලුකර ඉදිමීමට බිංතඹුරු කොළ, අමුකහ, ලුණු සමඟ කොට මලවා බඳී. ආමවාත, වාතරක්ත, පූයමේහ, ජලෝදර, සන්ධි ඉදිමුම් ආදියට බිම්තඹුරු කොළ සහ මුල් තැම්බූ කෂාය බොන්නට දෙයි. ජලෝදර රෝගය සඳහා මුත්‍රකාරකයක් ලෙස බිංතඹුරු යුෂ යෙදීම හා තලාගත් පත්‍ර ප්‍රලේපය උදරයේ ආලේප කිරීම සිදු කරයි. විසර්ප, ආමවාත, ඉදිමුම්, කෙණ්ඩාපෙරලීම්, දියවැඩියාව නිසා හට ගන්නා තුවාල ආදියට බිංතඹුරු කොළ අඹරාගත් ප්‍රලේපය ආලේප කරයි. චර්ම රෝගවලට බිංතඹුරු යුෂත්, වාතරක්ත සහ සන්ධි ඉදිමුම් ආදියට පත්‍ර යුෂත් යොදා ප්‍රතිකාර කරයි. ගුදභ්‍රංස සහ පාද ආසාදනවලට අදාල ස්ථාන බිංතඹුරු කොළ තැම්බූ ජලයේ බහා තබයි. කැඩුම් බිඳුම්වලදී බිංතඹුරු කොළ එළඟිතෙලින් මලවා බඳී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Sunday, January 5, 2020

දිවිපහුරු [Divipahuru] (Ipomoea pes-tigridis)

දිවිඅඩිය වැල් යනුවෙන් ද හඳුන්වන දිවිපහුරු රළු බූවක් සහිත වැල් ශාකයකි. පත්‍රය අතක ඇඟිලි මෙන් පත්‍රිකා 7-9 අතර ප්‍රමාණයකට බෙදී පවතී. පත්‍රයක් දිගින් සෙ.මී.10.5 ක් සහ පළලින් සෙ.මී. 13ක් පමණ වේ. පත්‍රිකා ප්‍රත්‍යණ්ඩාකාර හෝ ඕවලාකාර වන අතර පත්‍රිකාවල අග සහ මුල පටුය. උඩු හා යටි පෘෂ්ඨ දෙකේම දැඩි බූවක් පිහිටා තිබේ. පුෂ්ප මංජරිය සුදු,රෝස හෝ දම් පැහැ පුනීලාකාර මල් කීපයකින් සමන්විතයි. කුඩා අණ්ඩාකාර ස්පෝටිකාවක් වන ඵලය තුළ කළු පැහැති සියුම් බූවක් සහිත කුඩා බීජ පිහිටා තිබේ.  දිවිපහුරු  Connvolvulaceae උද්භිද කුලයට අයත් දේශීය ශාකයකි.

දිවිපහුරු විශේෂයෙන් විෂ වෙදකමේදී භාවිතා කරන ප්‍රකට ඔසු ශාකයකි.  දිවි මකුළු විෂට දිවිපහුරු කොළ දියසෙවෙල සමඟ අඹරා ගෑම ද, ඊටම දිවිපහුරු කොළ ,මකුළුවැන්න කොළ, මුඩමහණ කොළ, තල් කොළ, තල් පොතු, එරබදු පොතු, කිතුල් පොතු, කිතුල් මුල් සමව ගෙන පොල් සමඟ කොටා තෙල් සිඳ ආලේපය ද, බීමට දීමද, එම රොඩු වලින් දුම් ඇල්ලීම ද යහපත් බව සඳහන්. එමෙන්ම දිවි මකුළු විෂට  දිවිපහුරු කොළ යුෂ දෙහි ඇඹුලෙන් පෙවීම ද සුදුසු බව දක්වා ඇත. නාග විෂට හා මාපිල් විෂට දිවිපහුරු කොළ අඹරා කෑ මුඛයේ බඳිනු ලැබේ. පිස්සු බලු විෂට වැල සහමුලින් ගෙන කොට මිරිකා ගත් යුෂ බොන්ට දීම, නස්‍ය කිරීම හා කෑ මුඛයේ ගෑමත් යෝග්‍ය බව සඳහන්. 

ඇස් වෙදකමේදී ඇසේ සුද කැපීමට දිවිපහුරු කොළ දිවිතෙලෙන් මළවා බැඳීම ද, දිවිපහුරු කොළ, පුපුල දළු, එඬරු දළු දොඩම් පැඟිරෙන් හා ගිතෙලින් අඹරා බැඳීම ද සිදු කරයි. නිලීකා නම් චර්ම රෝගයට දිවිපහුරු ඇට, පුහුල් කොළ යුෂයෙන් අඹරා ගෑම සුදුසු බව දක්වා ඇත. මීට අමතරව උණ, උදර රෝග, පිළිකා ආදී රෝග අවස්ථා වලදී ද විවිධාකාරයෙන් දිවිපහුරු යොදා ගනී. එමෙන්ම රස වෙදකමේ දී රසදිය ශෝධනය ට ද දිවිපහුරු භාවිතා කළ බව දක්වා ඇත. පිළිස්සුම්වලදී හට ගන්නා දිය බබුලුවල මෙම යුෂ ගෑමෙන් සුවය ලැබේ. පිළිස්සුම් තුවලවල දිවිපහුරු කොළ අමුකහ සමඟ අඹරා ගෑ යුතුය. තවද ඉන්දියාවේ දී, තුවාලය සුව කිරීම සඳහාත්, හිසරදය, ඉදිමීම්, බඹර විෂ, සර්ප දෂ්ට කිරීම්, කුරුළෑ ආදිය සඳහා ප්‍රතිකාර කිරීම සඳහාත් දිවිපහුරු භාවිතා කරයි. මෙම සම්පූර්ණ ශාකයම ඔසු පිණිස ගනී. විෂනාශක ගුණ සහිතයි.

මූලාශ්‍ර_ තල්පතේ පිලියම්, ඔසුතුරු විසිතුරු සහ වෛද්‍ය තෙරිපැහැ ආරියවංශ මහතාගේ කෘති ඇසුරින් 
Share:

Sunday, May 12, 2019

ගඩාදෙහි [Gadadehi] (Citrus hystrix)

කූඩළු දෙහි යනුවෙන් ද හඳුන්වන ගඩාදෙහි මීටර් 12ක් දක්වා උසට පඳුරක් හෝ කුඩා ගසක් ලෙසට වැඩෙන ශාකයකි. ළපටි රිකිලිවල කක්ෂීයව පිහිටන කටු දැකගත හැකිය. පුළුල් ඕවලාකාර හෝ දිගටි ඕවලාකාර පත්‍ර අග්‍රස්ථයේදී මොට හෝ තරමක තීව්‍ර හැඩයක් ගන්නා අතර පාදමේදී රවුම් හැඩැති ය. පත්‍රයක් සෙ.මී. 8ක් පමණ දිග හා සෙ.මී. 6ක් පමණ පළල වේ. කක්ෂීය පුෂ්ප මංජරියෙහි මල් 1-5  අතර සංඛාවක් හටගනී. සුදු, ක්‍රීම් හෝ ළා රෝස පැහැති මල් අපූරු සුවඳක් විහිදුවයි. කොළ පැහැති ඵලය පැතලි ගෝලාකාර හෝ ඉලිප්සාකාර වේ. ගැටිති සහ නෙරුම් සහිත ඵලාවරණයේ අක්‍රමවත්ව පැන නැගුනු ග්‍රන්ථි පිහිටන අතර ඵලය නටුවට සවිවන තැන කුඩා ගැටිත්තක් දක්නට ලැබේ. ඵලය ඇතුලත සුදු පැහැ අණ්ඩාකාර බීජ කීපයක් පිහිටයි. විදේශයන්හි  Kaffir Lime යනුවෙන් ද ප්‍රකට ගඩා දෙහි Rutaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.

ව්‍යංජන, සම්බෝල සහ සලාද වර්ග රසවත් කිරීමට දෙහි මෙන්ම යොදාගත හැකි ගඩා දෙහි ඖෂධීය ගුණය අතින් ද ඉතා ඉහල ය. විශාදි, ගඩු, රත, ශරීරගත විෂ, සන්ධිගත ආබාධ, අජීර්ණ, උදරයේ වාතය එකතු වීම අතුළු උදරාබාධ, ඔක්කාරය, හිස්හොරි ආදී විවිධ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ගඩාදෙහි ශාකයේ කොළ සහ ගෙඩි භාවිතා කරයි.

මුරුවා කොළ, රදලිය කොළ, ගඩාදෙහි කොළ කොටාගත් යුෂ ලුණු දියරෙන් අඹරා, එයින්ම කකාරා ගෑමෙන් ගඩු සහ රත රෝග සුව වන බව සඳහන්. ගම්මිරිස් කොළ, ගඩා දෙහි කොළ කොටා උණු අළුවෙන් තම්බා ගෑමෙන් ශරීරයේ ඇතිවන විශාදි සුව වෙයි. ගඩා දෙහි, වැල් පෙනෙල, උළුහාල් කොටා වණ්ඩුවේ තම්බා තැවීම කොර වූ සන්ධි දිග හැරීම සඳහා යොදන ප්‍රතිකාරයකි.

ගඩාදෙහි කොළ තායිලන්තයේ සුප් සඳහා යොදන ප්‍රකට රස සහ සුවඳ කාරකයකි. මෙරට ගැමියන් අනාදිමත් කාලයක සිට කිතුල් මල් පදම් කිරීම සඳහා මෙම ගෙඩිවල යුෂ භාවිතා කර ඇත. ගඩාදෙහි ගෙඩි තම්බා පොඩිකර හොඳින් හිස ගල්වා නෑමෙන් හිස්හොරි සුවවෙයි. මෙම ගෙඩිවල පොත්තෙන් නිස්සරණය කර ගන්නා සගන්ධ තෙල් රූපලාවන්‍ය නිශ්පාදන සඳහා යොදා ගන්නා බව සඳහන්. 

මූලාශ්‍ර_ තල්පතේ පිලියම් කෘති සහ අන්තර්ජාලයෙන් 
Share:

Monday, April 1, 2019

කපු [Kapu] (Gossypium arboreum)

කපු මීටර් 1.5 පමණ උසට පඳුරක් ආකාරයෙන් වැඩෙන කුඩා  ශාකයකි. කඳ සහ සුළු සංඛාවක් පවතින අතු අකාෂ්ඨීය වන අතර මඳ බූවක් සහිත හෝ කලාතුරකින් සුමට වේ. පුළුල් ලෙස හෘදයාකාර සරල පත්‍ර‍ කෙටි තිවෘ ඛණ්ඩිකා 5-7 සංඛාවකට බෙදී පවතී. පත්‍ර‍ තලයේ ග්‍ර‍න්ථිමය තිත් දැකගත හැකිය. විශාල කහ පැහැති ද්වීලිංගික මල් අලංකාරවත් ය. මල්වල මධ්‍යය දම් පැහැයෙන් දැකගත හැකිය. ඵලය කොළ පැහැති, වටකුරු හැඩැති ස්ඵෝටිකාවකි. කුටීරවලට බෙදුණු ඵලය තුල පුලුන්වලට මැදිවූ අළු හෝ සුදු පැහැති බීජ පිහිටා තිබේ.  ඖෂධ ලෙස භාවිතා කිරීමටත් වඩා රෙදිපිලි කර්මාන්තයේදී ප්‍ර‍කටව භාවිතා කරන කපු Malvaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.

දේශීය උද්භිද මූලාශ්‍ර‍වලට අනුව Gossypium විශේෂ 5ක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල මෙරටට හඳුන්වාදෙන ලද විශේෂයන් වේ. නමුත් වසර දෙදහස් ගණනකට පෙර විජය කුමරු ලංකාවට පැමිණෙන විට කුවේණිය කපු කැටමින් සිටි බව ඓතිහාසික මූලාශ්‍ර‍වල සඳහන් වේ. මෙයින් කියවෙන්නේ කපු විශේෂ ලංකාවට හඳුන්වාදීමේ ඉතිහාසය විජය-කුවේණී යුගයටත් පෙර සිදූවූවක් බවද? නැති නම් වෙනත් යමක්දැයි සොයා බැලීම සිත්ගන්නා සුළු කරුණක් වනු ඇත.

වෙදකමට සම්බන්ධ මූලාශ්‍ර‍වල කපු වර්ග කීපයක් ගැන සඳහන්ව ඇත. නියම කපු සහ වල් කපු යනුවෙන් එක් වර්ගීකරණයක සඳහන්ව ඇති අතර තවත් වර්ගීකරණයකට අනුව මලේ පැහැය අනුව කහ, රතු සහ කළු යනුවෙන් කපු වර්ග තුනක් දක්වා ඇත. ගුණය අතින් මෙම සෑම කපු වර්ගයක්ම සමාන බව ඒවායෙහි සඳහන් වේ. 

වාත රෝග, ගර්භාෂගත රෝග, ආර්තව ගැටළු, මුත්‍ර‍ අඩස්සිය, ප්‍ර‍දර රෝග, පාණ්ඩුව, ගෝනුසු විෂ ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා කපු ශාකයේ කොළ, මුල්, මල්, ගෙඩි සහ ඇට භාවිතා කරයි. කපු වේදනා ස්ථාපන, වණ රෝපණය කරන, ස්නායු උත්තේජනය කරන, කපු කොළ ලේ වඩවන, ඇට හා කොළ මුත්‍ර‍ කාරක ආදී  ගුණ සහිත බව සඳහන්. එමෙන්ම විශේෂයෙන් කපු මල්වල අක්මාව උත්තේජනය කරන සහ විෂ නාශක ගුණ සහිත බවත්, මුලේ පොතුවල ගර්භාෂය සංකෝචණය කරන සහ ආර්තවය ඇති කරවන ගුණ සහිත බවත්, ඇටවල මද ශුක්‍ර‍වර්ධනය කරන හා මව්කිරි වර්ධනය කරන ගුණ සහිත බවත් දක්වා ඇත. 

වේදනාකාරී ආර්තවයට සහ ආර්තවය ඇති නොවන විට කපු මුලේ පොතු චූර්ණය හෝ කෂාය යොදා ප්‍ර‍තිකාර කරයි. ප්‍ර‍සවයේදී මුල් කෂාය යොදයි. මුත්‍ර‍ අඩස්සියට බීජ චූර්යණය හෝ පත්‍ර‍ ස්වරසය භාවිතා කරයි. පාණ්ඩුවට කපු මල් හාල්පානු වතුරෙන් අඹරා බොන්නට දෙයි. අතීසාරය සමඟ එන වමනයට යොදන ජලසන්නිකපාල ගුලිය සෑදීමට කපු ඇට භාවිතා කරයි. වල්කපු මුල් හා උක් මුල් විනාකිරෙන් අඹරා බොන්නට දීමෙන් මව්කිරි වර්ධනය වන බව සඳහන්. මිනිසුන්ගේ සහ හරකුන්ගේ උල් කටු ඇණුනු විට ඒවා ඇදීමට කපු කොළ, ගොන් කැකිරි අල, කෝවක්කා කොළ, ඔලිඳ කොළ සමව ගෙන කොටා බඳියි.  ගොනුසු විෂට කපු ගෙඩි අඹරා ආලේප කරයි. 

ඔෂධ සඳහා යොදා ගැනීමට අමතරව පෙරදිග සහ බටහිර වෛද්‍ය ක්‍ර‍මවල තුවාලවලට ප්‍ර‍තිකාර කීරීමේදී සහ සැත්කම් සඳහා කපු පුලුන් සහ කපු පුලුන් භාවිතාකර නිපදවන කපු රෙදි (තුවාල සැරහුම් සහ වෙළුම් පටි ලෙස) සුළබව භාවිතා කරයි. 

මෙරට ගැමියන් ජලය පිරිසිදු කර ගැනීමේ අරමුණෙන් කපු ඇට ළිඳට දමයි. විශේෂයෙන් සිංහල අවුරුදු චාරිත්‍ර‍වලදී ළිඳ සමඟ ගණුදෙනු කිරීමේදී යොදන ද්‍ර‍ව්‍ය අතර කපු ඇට ද වෙයි. එමෙන්ම මෙරට ජනයා ශාන්තිකර්ම වැනි නොයෙක් අභිචාර ක්‍ර‍ම සඳහා කපු ඇට භාවිතා කරයි. ඇස්වහ කටවහ දෝෂ සඳහා, උදෑසන කකුලා හැඬලීමට පෙර කතා නොකර ලබා ගන්නා ජල බඳුනකට කපු ඇට දමා වසා තබා පසුව එය යකදුරකු විසින් මතුරා බොන්නට දෙයි. කුඩා දරුවන්ගේ සිරුරෙහි ඇතිවන ඇස්වහ කටවහ බිබිලි සඳහා මෙම වතුර මැතිරීම ප්‍ර‍ත්‍යක්ෂ බව ගැමියන්ගේ අත්දැකීමකි. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
Share:

Sunday, March 24, 2019

සල්වැන්න [Salwenna] (Pleurolobus gangeticus)


සංස්කෘත වෛද්‍ය ග්‍ර‍න්ථවල ශාලපර්ණී යනුවෙන් හඳුන්වන සල්වැන්න මීටර් 2 ක් දක්වා උසට වැවෙන පඳුරු ආකාර කුඩා පැළෑටියකි. නමුත් නිතර දක්නට ලැබෙන ශාක මෙම ප්‍ර‍මාණයට වඩා කුඩා ය.  මෙහි සිලින්ඩරාකාර අතුවල සියුම් බූවක් පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර පුළුල් ඉලිප්සීය හෝ අණ්ඩාකාර හැඩැති ය. පත්‍ර පාදමෙහි දී රවුම් හෝ හෘදායාකාර වන අතර අග්‍ර‍ස්ථයේදී  මොට, තීව්‍ර හෝ අති තීව්‍ර විය හැකි ය. පත්‍ර‍ උඩු තලය තරමක් සිනිඳුයි. යටිතලය තරමක බූවක් සහිතයි. අග්‍ර‍ස්ථ පුෂ්ප මංජරිය සෙ.මී. 25ක් දක්වා දිගට වැඩෙන අතර එහි මල් පොකුරු  2-5 දක්වා සංඛාවක් දැක ගත හැකිය. දිග සහ පළල මි.මී. 3ක් පමණ වන කුඩා පුෂ්ප සුදු හෝ ළා රෝස පැහැති ය. කුඩා කෙඳි සහිත පැතලි කරලෙහි වෘක්කාකාර බීජ කීපයක් හටගනී. මෑතක්වන තුරු Desmodium gangeticum යන උද්භිද නාමයෙන් හැඳින්වූ සල්වැන්න  Fabaceae උද්භිද කුලයට අයත් දුර්ලභ දේශීය ශාක විශේෂයකි. 

ආයුර්වේද වෛද්‍ය ක්‍ර‍මයෙහි ප්‍ර‍කට කෂායන් වන සුලු පස්මුල, දශමුල ආදී කෂායන්හි සල්වැන්න යෙදෙන නමුත් දේශීය භාවිතයේදී බොහෝ විට ඒ වෙනුවට අස්වැන්න ශාකය යොදා ඉහත කෂායන් පිළියෙල කරයි. සල්වැන්න දේශීයව දුර්ලභ ශාකයක් වීම ඊට හේතු වන්නට ඇතැයි සිතිය හැකි ය. කෙසේ වෙතත් සල්වැන්න වෙනුවට අස්වැන්න යෙදීමන් ද අවශ්‍ය ගුණාත්මක ප්‍ර‍තිඵල ලැබෙන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයේ දක්වා ඇත. සල්වැන්න උණ, හෘද රෝග, මුත්‍ර‍ගල්, වකුගඩු රෝග, ආහාර අරුචිය, අජීර්ණ, ඔක්කාරය, වමනය,  පිළිකා, දියවැඩියාව, අතීසාරය, හිසරදය, උදරයේ වාතය එකතු වීම, ඉදිමුම්, මස්පිඩු පෙරලීම, අර්ශස්, සර්ප විෂ, ගෝනුසු විෂ ආදී රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකි බව සඳහන්. සල්වැන්න උණ නසන, වේදනාවන් සමනය කරන, මුත්‍ර‍කාරක, කුසගිනි වඩවන ආදී ගුණ රැසකින් සමන්විතයි. 

සල්වැන්න පත්‍ර ක්වාථය පිත්තාශ ගල්, මුත්‍රාශ ගල් සහ වකුගඩුවල ඇති වන ගල් ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා යොදා ගනී. පත්‍ර‍ ප්‍රලේපය නළලෙහි එලීමෙන් හිස කැක්කුම සුවපත් වෙයි. වකුගඩු ආශ්‍රිතව ඇති වන විවිධ රෝග, ඉදිමුම්, කල්ගත වූ උණ, අතීසාරය, පාචනය ආදී රෝග අවස්ථාවලදී මුල් ක්වාථය යෙදෙන අතර විශේෂයෙන් එය වේදනා නාශක ගුණ පෙන්වයි.

මූලාශ්‍ර‍_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, March 17, 2019

ප්‍ර‍සාරණී [Prasarani] (Paederia foetida)

ප්‍ර‍සාරණී මීටර් 9 ක් පමණ දිගට වැඩෙන සිහින් කඳක් සහිත වැල් ශාකයකි. මෙම වැල්වලින් දුඟඳක් හමන නිසා ගන්ධ ප්‍ර‍සාරණී යනුවෙන් ද හඳුන්වයි. සම්මුඛව පිහි‍ටන සරල පත්‍ර‍ ආයත හෝ ලන්සාකාර වේ. පත්‍ර වෘන්ත තරමක් දිගු වන අතර පත්‍ර‍ අග්‍ර‍ය තිවෘ ස්වභාවයකි. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 5-7.5 පමණ වන අතර පළලින් සෙ.මි. 2.5-3.5 පමණ වේ. බහු අක්ෂ පුෂ්ප මංජරිවල රෝස හෝ රතු පැහැති ද්වීලිංගික මල් රාශියක් එකවර හට ගනී. ගෝලාකාර හැඩැති කුඩා ඵලය තුල මි.මි. 5.5 පමණ දිගැටි බීජ 1 ක් හෝ 2 ක් පිහිටයි. ප්‍ර‍සාරණී Rubiaceae උද්භිද කුලයට අයත් මෙරටට හඳුන්වාදී ස්වභාවිකකරණයට ලක් වී ඇති විදේශීය ශාක විශේෂයකි. 

ප්‍ර‍සාරණී මෙරටදී තරමක් මතභේදාත්මක ශාකයක් වී ඇත්තේ ඇතැම්හු මෙම ශාකය ආපසුමදු නමින් හඳුන්වන බැවින් සහ එනමින් ඖෂධ පිණිස යොදා ගන්නා බැවිනි. දේශීයව ආපසුමදු නමින් හඳුවන්නේ Xenostegia tridentata නම් උද්භිද නාමයෙන් හඳුන්වන කහ පැහැති මල් හට ගන්නා වැල් වර්ගය වන අතර එය එනමින් සඳහන් දේශීයව වට්ටොරුවලදී ප්‍ර‍තිකාර සඳහා යෙදේ. මෙම වැරදි හැඳින්වීම අනුව යමින් ඇතැමුන්  ප්‍ර‍සාරණී යෙදිය යුතු තැන්වල මෙම දේශීය ආපසුමදු ශාකය යොදා ගැනීමට පෙළඹී ඇති නිසා ප්‍ර‍තිකාරවල ගුණාත්මක භාවය පිරීමට ලක්ව ඇති බව වෘද්ධ වෛද්‍ය මතයයි. 

වාත රෝග, සන්ධිවාත, ආමවාතය නිසා හටගත් සන්ධි ඉදිමීම, සෙම නිසා හටගත් රෝග, මූල රෝග, ශරීරදුබලතා, අන්ත්‍ර‍ශූල, රක්තවාත, සූතිකා රෝග, උණ, අක්ෂි රෝග, අතීසාර, ප්‍ර‍වාහිකා ආදි රෝග අවස්ථා රැසකට ප්‍ර‍තිකාර කිරීම සඳහා ප්‍ර‍සාරණී සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. ප්‍ර‍සාරණී ඉදිමුම් නසන, ශක්තිජනක, මුත්‍ර‍කාරක, වණ රෝපණය කරන, වේදනා සමනය කරන, කාමොද්දීපක ආදී ගුණ සහිතයි. 

විරේකය, ප්‍ර‍වාහිකා, බෙලහීනතාවය ආදියට ප්‍ර‍සාරණී කොළ තම්බා පෙරාගත් ජලය බොන්නට දෙයි. වාත රෝග සඳහා මුල් කෂාය යොදා ප්‍ර‍තිකාර කරයි. අර්ශස් රෝගීන්ට ප්‍ර‍සාරණී දලු සහ කොළ මැල්ලුම් හා ව්‍යංජන ලෙස සකසා කෑමට දෙයි. 

උදර ආබාධ, ආම ශූල, බඩ පිපුම ආදී ආන්ත්‍රික ආබාධ සඳහා ප්‍ර‍සාරණී කොළ කොටා වතුර ස්වල්පයක් එකතු කොට මිරිකා පෙරාගත් යුෂ දිනපතා භාවිතයෙන් එම තත්වය ක්‍ර‍මයෙන් පහ වන බව සඳහන්. වාත වේදනා සඳහා ස්නානයට කොළ තැම්බූ ජලය යොදාගන්නා අතර උදරය ඉදිරියට නෙරා ඒම, විසර්ප, පණු කැවිලි ආදී අවස්ථාවන්ට පත්‍ර‍ ප්‍රලේපය යෙදේ. කුඩා දරුවන්ගේ අතීසාරය වැළැක්වීමට පත්‍ර සාරය භාවිතා වෙයි. මුලෙහි සාරය අජීර්ණ, අර්ශස්, ප්ලීහා රෝග, අක්මා රෝග ආදිය සඳහා නිර්දේශ කෙරේ. මෙහි ඵලය අවර්ණ වූ දත්වල පැහැය නැවත ඇති කිරීමට සහ දත්වල වේදනා සමනයට යොදා ගනී. වාත රෝග සඳහා භාවිතාවන කෂාය වල, විශේෂයෙන් සූතිකාවන්ගේ බොහෝ රෝග නසන සූතිකා දශමුල කෂායෙහි යෝගයක් ලෙස ප්‍ර‍සාරණී යෙදේ. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Monday, March 11, 2019

ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර‍ අණ්ඩාකාර හැඩැති ය. ළපටි පත්‍ර‍ ළා කහ පැහැයට හුරු කොළ පැහැති වන අතර මේරූ පත්‍ර‍ තද කොළ පැහැයක් ගනී. කක්ෂීය පුෂ්ප මංජරිවල මල් සීමිත සංඛාවක් හටගනී. තරමක් විශාල සුදු පැහැති මල් සුවඳවත් ය. ගෝලාකාර හැඩැති බදරියක් වන ඵලය කොළ පැහැති වන අතර ඉදුණු පසු කහ තැඹිලි පැහැයක් ගනී.  ඵලාවරණයේ වාෂ්පශීලී සුගන්ධ තෙල් අඩංගු ය. ඵලය ඇතුලත මාංශල ආශයිකා රාශියක් සහිත ඛණ්ඩ (බික්) 10-12 සංඛාවකට බෙදී පවතී. යුෂ අතිශ්‍යය ඇඹුල් රසැති ය. ඵලයේ මධ්‍යයට බරව සුදු පැහැති බීජ පිහිටයි. ඇඹුල් දොඬම් Rutaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

සංස්කෘත භාෂාවෙන් ජම්බීර යනුවෙන් ද හඳුන්වන ඇඹුල් දොඩම්වලට අමතරව තවත් දොඩම් වර්ග කීපයක් ඖෂධ සඳහා බාවිතා කරන බව වෙදකමට සම්බන්ධ මූලාශ්‍ර‍වල දක්වා තිබේ. ඒ අතර මධු ජම්බීර හෙවත් පැණි දොඩම්, නාරංග හෙවත්  හීං නාරං, බීජපුර හෙවත් මාතුලංග හෙවත් නස්නාරං, මධුකර්කටිකා හෙවත් ලප්නාරං, වනබීජපුර හෙවත් දෙහි, ජම්බීරද්වය හෙවත් ජම්බෝල සහ සීදරන් ද වේ. 

විශේෂයෙන් ඇඹුල් දොඩම් යුෂ දේශීය චිකිත්සාවේදී සුලභව භාවිතා කරන ඔසුවකි.  පිපාස, ආම දෝෂ, කුසගිනි මදිකම, මුඛ රෝග, හෘද රෝග, පණු රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇඹුල්දොඩම් යුෂ සුලභව භාවිතා වේ. ඊට අමතරව ඇඹුල් දොඩම් මුල්, මල්, ගෙඩි, ඇට, ඇටතෙල්, දළු, කොළ, ගෙඩියෙහි පිට පොත්තේ ඇති දොඩම් පැඟිරි ආදිය ද ඔසු සඳහා භාවිතයට ගනී.  ජම්බීර කල්කය, ජම්බීර ලවන වටී, ජම්බීරාදී පානකය ආදීය ඇඹුල් දොඩම් යොදා නිපදවන ඖෂධයන් ය. එමෙන්ම මහා කෝල දවුණ්ඩය, දියතාරාමය ආදී ගුලි ඇඹරීමේදී මාත්තුවක් ලෙස ඇඹුල් දොඩම් යුෂ යෙදේ. සීතාරාම, බුද්ධරාජ, මාත්තු පහ ,චන්ද්‍ර කල්කය,‍ ශර්කරාදි කල්කය, යෂ්ඨි කල්කය ආදී ගුලි කල්කවල අනුපාන ලෙස ඇඹුල් දොඩම් යුෂ මෙන්ම දලු භාවිතා වෙයි. 

දේශීය ගුලි කල්ක බොහොමයක අනුපාන ලෙස ඇඹුල් දොඩම් යෙදන අතර එයින් බුද්ධරාජ කල්කයෙහි මකරන්දන් අනුපානය ඉතා ප්‍ර‍කටය. එනම් ඇඹුල් දොඩම් යුෂ, අමු ඉඟුරු යුෂ හා මී පැණි යන ත්‍රිත්වයේ එකතුවයි. සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස, හතිය ආදී සෙම් කෝප රෝග අවස්ථාවල දී මෙන්ම අජීර්ණ ආදී උදර රෝගයන්ට ද මෙය ගුණදායක ය. සෙම් රෝග මෙන්ම වමනය ආදී රෝග අවස්ථාවලදී නවරත්න කල්කය ඇඹුල් දොඩම් යුෂයෙන් පානයට දීම දේශීය වෛද්‍යවරුන් සුලබව භාවිතා කරන ප්‍ර‍තිකාරයකි. දොඩම් ගැට පුලුස්සා ගත් අළු, පරණ ගොරකා සමඟ දොඩම් ඇඹුලින් අඹරා, රත් කර ගෑමෙන් බිඳුණු සන්ධි සවිවන බව සඳහන්. පොළොං විෂට දෙහි හා දොඩම් කොළ සහ පොතු, ඉඟුරු අල සමග සම සමව ගෙන දුම් අල්ලනු ලබයි. අබ ඇට පතක් පමණ දොඩම් ගෙඩියක් තුලට ලා, උණ අළුවෙන් තම්බා  එම ඇඹුලෙන් ඇස වටා ගෑම නුවන් පිළිකාවලට ප්‍ර‍තිකාරයකි. දොඩම් ඇට මද, තෝර ඇට, දිවුල් මද සමව ගෙන එළකිරෙන් අඹරා ඇස වටා ගෑමෙන් ඇස්වල රත සුවවන බව සඳහන්. එමෙන්ම රස ශාස්ත්‍රයේදී චපල, ස්වර්ණ මාක්ෂික, අඤ්ජන කැට, සංඛ ආදී රස ඖෂධ ශෝධනයට ප්‍ර‍ධාන වශයෙන්ම ගැනෙනුයේ ඇඹුල් දොඩම් යුෂ ය.



මූලාශ්‍ර‍_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය, තල්පතේ පිලියම්, වටිකප්‍ර‍කරණය සහ ද්‍රව්‍ය ගුණ විඥාණය පණ්ඩිත ජේ.කේ. එස්. සමරසේකර
Share:

Monday, March 4, 2019

ගොයිවැල් [Goiwel] (Flagellaria indica)

ගොයිවැල් පඳුරුමය කුඩා බහුවාර්ෂික ශාකයකි. ආධාරක ශාකයක් ඇති විට පත්‍ර අග ඇති පහුරු ආධාරයෙන් ඉහළ නගින අතර එසේ නොමැති විට ගොමුවක් ලෙස වැඩේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍රවල පාදම කොපුවකින් වැසී පවතින අතර පත්‍ර තලය දිගින් සෙ.මි. 10-16 දක්වා ද, පළලින් සෙ.මි. 1.4-1.6 දක්වා ද වැඩේ. සෙ.මි. 6-10  පමණ දිගු  සංයුක්ත ඒකාක්ෂ පුෂ්ප මංජරිය පහළට එල්ලා වැටෙන ස්වරූපයකි. නිර්වෘන්ත කුඩා මල් සුදු පැහැයට හුරු ළා කහ පැහැති ය. ගෝලාකාර ඵලය මි.මි. 7 තරම් කුඩා වන අතර ඉඳුණු විට රෝස පැහැයක් ගනී. එක් ඵලයක් තුල කුඩා රතු පැහැ බීජ 1-3 අතර සංඛාවක් පිහිටා තිබේ. ගොයිවැල් Flagellariaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

දේශීය මූලාශ්‍ර‍වලට අනුව කැඩුම් බිඳුම්, ගඩු ආදිය සඳහා ප්‍ර‍තිකාර කිරීමට ගොයිවැල් කොළ යොදා ගනී. අන්තර්ජාල මූලාශ්‍ර‍වලට අනුව නොයෙක් රටවල තුවාල, ඇස්වල තුවාල, දත් කැක්කුම ඇතුළු මුඛ රෝග, සන්ධිප්‍ර‍දාහය, රූමැටික් වේදනා, උගුරේ ආබාධ, වමනය, අතීසාරය, පාචනය, ප්‍ර‍තිශ්‍යා රෝග, ලිංගික රෝග, ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා ගොයිවැල් ශාකයේ දණ්ඩ, කොළ අල ආදිය යොදා ගන්නා බව සඳහන්. ගොයිවැල් ගැබ් ගැනීම වලක්වන, මුත්‍ර‍කාරක ආදී ගුණ සහිත බව දක්වා ඇත. 

ගොයිවැල් කොළ, කොටදිඹුලා කොළ, මිදෙල්ල කොළ, අංකෙන්ද පොතු, කහ, ලුණු සමග කොටා, මලවා බැඳීමෙන් බිඳුණු අස්ථි සවිවන බව සඳහන්. මේ සඳහා ගොයි වැල් දළු, පෝටා කොළ, කොටදිඹුලා කොළ, මිදෙල්ල කොළ, කහ, ලුණු ලා කොටා මලවා බැඳීම ද සුදුසු ය. නොඑසේ නම් ගොයි වැල් දළු, පෝටා කොළ, දිවුල් කොළ, අට්ටික්කා පොතු, පොල් සමඟ කොටා මලවා බැඳිය යුතුය. ගොයිවැල් කොළ, බැලතණ, අග මුල නැති වැල්, කෑලිය කොළ සහ පොතු, කහ, ලුණු ලා කොටා මලවා බැඳීමෙන් ශරීරයෙහි ඇතිවන ගඩු සුවපත් වන බව සඳහන්.

මැලේසියානු ජාතිකයින් සෞක්‍යාරක්ෂිත පානයක් ලෙස මෙම මුල් තම්බා ගත් වතුර මි.ලි. 150 ක් බැගින් දිනකට තුන් වතාවක් පානය කරයි. මෙය එක දිගට දින තුනක් පානය කිරීම යෝග්‍ය බව දක්වා ඇත. ඇතැම් රටවල ළපටි ගොයිවැල් කොළ එළවලුවක් ලෙසත්, ඉදුණු ගෙඩි පළතුරක් ලෙසත් ආහාරයට ගනී. මැඩගස්කර් වැසියන් මෙම කොළ තේ මෙන් සාදා පානය කරයි. ගොයිවැල් කඳෙහි උක් ශාකයේ මෙන් පැණි රසැති රසායණිකයක් අංගුව ඇත. 

මූලාශ්‍ර‍_ තල්පතේ පිළියම් සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ "ඔසුපැළ හඳුනා ගනිමු" සමූහයෙන්
Share:

Tuesday, November 13, 2018

සුළුනයි [Sulunai] (Rungia repens)

සුළුනයි පොළවේ වැතිරී හෝ සෙ.මී. 20ක් පමණ උසට වැඩෙන දුර්වල සිහින් කඳක් සහිත කුඩා පැළෑටියකි. පත්‍රවල හැඩය ඕවලාකාර හෝ ආයත ඕවලාකාර ය. පත්‍රයක් දිගින් සෙ.මී. 1.2-2 දක්වා ද පළලින් සෙ.මී. 0.5-0.8 දක්වා ද විය හැකි අතර මද තීව්‍ර අග්‍ර‍ස්ථයක් සහිතය. සෙ.මී. 2.5 ක් පමණ දිග නටුවක හටගන්නා ශුකියෙහි ළා දම් පැහැ හෝ ළා නිල් පැහැ කුඩා පුෂ්ප හටගනී. ඕවලාකාර ආයත හැඩැති කුඩා බීජකෝෂවල චක්‍රාකාර බීජ ඒක කේන්ද්‍රීය ව පිහිට‍ා තිබේ. සුළු නයි Acanthaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

තුවාල, සර්ප විෂ, අක්ෂි රෝග, ඇසේ යමක් ඇණුන විට එය එය ඉවත් වී තුවාලය සුව වීමට ආදීය අවස්ථා සඳහා ප්‍ර‍තිකාර කිරීමට සුළුනයි සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. 

සුළු නයි කොළ අඹරා තැබීමෙන් තුවාලවල ලේ ගලා යාම නවතී. සුදුළූණු, වදකහ, තුන් බෝ අත්තන මුල්,  සුළු නයි මුල් සමව ගෙන සුණු කොට සාදාගන්නා දුම් පන්දුව සියලු සර්ප විෂට වේදු ඇල්ලීම පිණිස යොදා ගනී. විෂ වෛද්‍යවරු මුඛයෙන් නාග විෂ ඉරීමට ප්‍ර‍ථම සුළු නයි, මහ නයි දෙවර්ගයේ මුල් සැපීම සිදුකරන බව සඳහන්. එසේම සර්ප විෂ සඳහා සාදන ගුලි වර්ගවල යෝගයක් ලෙස ද සුළු නයි යොදා ගනී. ඇසේ යමක් ඇනී තුවාල වූ විට අරළු, බුළු, නෙල්ලි, ඉඟිනි ඇට,කොහොඹ කොළ, කූර කොළ, කරල් සැබෝ කොළ, ඔලිඳ කොළ, බුත්සරණ මුල්, තැල් කොළ, සුළු නයි කසාය කර ඇසට වත් කරන අතර සුළු නයි, මහ නයි, මොණරකුඩුම්බිය, තැල් කොළ, බූ මෑ කොළ, ගොටුකොළ, කරල්සැබෝ කොළ ආදියෙන් ලද පමණක් තලා වත් කිරීම ද සිදු කරන බව දක්වා ඇත. ඇසේ සුද නැති වීමට සුළු නයි, මොණරකුඩුම්බිය, පොල්පලා තලා ඇසට වත් කරන බව ද කියැවේ.

මූලාශ්‍ර‍_ තල්පතේ පිළියම් කෘති
සේයාරූ_  Illustrated field guide to the flowers of Sri Lanka - Volume 1 සහ වෛද්‍ය සංජීව රූපසිංහ 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support