දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, August 22, 2016

කහට [Kahata] (Careya arborea)

කහට, මීටර් 20 ක් දක්වා වර්ධනය වන, නියඟයට හොඳින් ඔරොත්තු දෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. රළු, ඉතා ඝණකම් පොත්ත අළු දුඹුරු පැහැතිය. තරමක් විශාල සරල පත්‍රයක් සෙ.මි 30 දක්වා වර්ධනය වේ. අඳුරු කොළ පැහැති පත්‍ර තලය දිළිසන සුලු ය. පොකුරු වශයෙන් හට ගන්නා විශාල මල් අලංකාරවත් ය. මල් පිපෙන කාලයේදී කොළ මුලුමනින්ම පාහේ හැලී යයි. ගැමියන් මල් පිපෙන අවස්ථාවේ පවතින ළපටි කහට ඵලය රසවත් ව්‍යංජනයක් සහ මැල්ලුමක් ලෙස සකසා ආහාරයට ගනී. ගෝලාකාර පරිනත ඵලය සෙ.මි. 8 පමණ විශ්කම්භයකින් යුක්ත ය. එය වල් ඌරන් වැනි වන සතුන්ට ආහාරකි. කහට ශාකය Lecythidaceae කුලයට අයත්ය. 

මුඛ රෝග, ප්‍රතිශ්‍යා, වණ, ශ්වේත ප්‍රදර, රක්ත ප්‍රදර, සර්ප විෂ, ලේ වහනය නැවැත්වීමට, ප්‍රමේහ ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් කහට පොතුද අමතරව දළු, මල්, ගෙඩි ආදිය භාවිතා කරයි. වගපුල් යන්න ප්‍රකටව යෙදෙනුනේ තිප්පිලි සඳහා වුවත් මෙරට ඇතැම් වෙද පරම්පරාවල් වගපුල් ලෙස කහට ගෙඩි භාවිතා කරයි. 

යටිපතුල් තුවාල වූ විට කහට පොතු තම්බා බැඳීම, මුඛ රොගවලදී කහට පොතු තැම්බූ වතුරින් කට සේදීම, වණ සේදීමට සහ මස ලියලවීමට කහට පොතු හෝ දළු තැම්බූ වතුරින් සේදීම,  බාහිර ලේ වහනය නැවත්වීමට කහට දළු අඹරා තුවාලය මත ඇතිරීම, සර්ප විෂට කහට පොතු චූර්ණය දීම ආදිය සරල ප්‍රතිකාරයන්ය. බිබිලි මතුවන උණට කහට පොතු කෂාය ගුණදායකය. දරු ප්‍රසූතියෙන් පසු මව නාවන වතුරට කහට කොළ එක් කිරීමට පැරැන්නන් පුරුදුව උන්හ. එමෙන්ම මවක් දරුවන් ලැබූ අලුත කහට පොතු තැම්බූ වතුරින් යෝනී ප්‍රදේශය සේදීම සිදු කරයි. එමඟින් දරුවන් ලැබීමේදී ඇතිවූ තුවාල ආදීය සුවවී අපහසුතාවයන් මඟ හැරී යයි. ගැමියන් එවැනි මව්වරුන්ට කහට මල් යොදා සාදා ගන්නා ශක්තිජනක පානයක් ද පිළියෙල කර දෙයි. කාන්තාවන්ට වැලඳෙන ස්වේත ප්‍රදර සහ රක්ත ප්‍රදර රෝග අවස්ථාවන් හිදී කහට පොතු චූර්ණය මදටිය ඇට 6-12 අතර ප්‍රමාණයක් ගිතෙල් මී පැණි සමඟ දීමෙන් ගුණ වේ.  

හරකුන්ගේ කුර රෝග, ගෙඩි ආදිය සුව කිරීමට ගැමියෝ කහට පොතු යොදා ගනිති. අතීතයේදී කහට පොතු තම්බාගත් ජලය වර්ණකාරයක් ලෙස භාවිතා කර ඇත. රෙදි, පැදුරු, පාපිසි වැනි දෑ මෙමඟින් වර්ණ ගන්වා ඇත. අද ද ආරණ්‍ය සම්ප්‍රදායේ භික්ෂුන්වහන්සේලා සිවුරු පඬු පෙවීමේදී කහට පොතු තැම්බූ වතුර භාවිතා කරයි. කහට ලීයේ අරටුව නොදිරා කලක් පවතින නිසා කරත්ත රෝදවල වක් අතු සෑදීමට ද, සිල්පර කොට සඳහා ද, තුවක්කු මිටි සෑදීම සඳහා ද භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය ඔසුතුරු විසිතුරු කෘති 
Share:

0 comments:

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support