දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Thursday, March 30, 2017

කහ මිල්ල [Kaha Milla] (Vitex altissima)

සාමාන්‍ය ව්‍යවහාරයේ මිල්ල යනුවෙන් හඳුන්වන කහ මිල්ල බොහෝ සේ අතු බෙදෙමින් මීටර් 25 ක් දක්වා ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. කඳ සෙ.මි. 70 පමණ විශ්කම්භයක් දක්වා වැඩේ. ඇතැම් විට කුඩා වෘක්ෂ ලෙස ද දැක ගත හැකිය. සංයුක්ත පත්‍ර ද්වීකාන්තරික සම්මුඛ වන අතර පත්‍රිකා 3 හෝ 5 ලෙස පිහිටයි. පුෂ්ප මංජරිය පුෂ්ප රාශියක් ගොනු වී ඇති බහු අක්ෂයකි. මල් ළා දම් පැහැතිය. ඵලය අෂ්ඨිලයකි. එය කොළ පැහැති වන අතර මෝරණ විට තද දම් පැහැයට හැරේ. මෙම ශාකයේ අරටුව කහ පැහැති වන අතර දැවමය වටිනාකම ඉතා ඉහලය. කහ මිල්ල Verbenaceae උද්භිද කුලයට අයත් ශාකයකි. Tiliaceae උද්භිද කුලයට අයත් තවත් මිල්ල නමින් හඳුන්වන, දැවමය වටිනාකමක් සහිත ශාකයක් ඇති අතර එය හල්මිල්ල (Berrya cordifolia) නම් වේ. 

සන්නිපාත අතීසාරය, රතගාය, සියළු ගඩු, පිටගැස්ම, හන්දි ආබාධ, තැළුම්, හිස කැක්කුම, කැඩුම් බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මිල්ල ශාකයේ පොතු, කොළ, දළු, මල් ආදිය භාවිතා කරයි. මිල්ල ශාකයේ අරටුවෙන් ලබා ගන්නා කහ පැහැති වර්ණකය හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී බාහිර ආලේපනයක් ලෙස යොදා ගන්නා බව සඳහන් වේ. 

අවහන්දියට මිල්ල පොතු, කැටකෑල පොතු, ඉඹුල් පොතු, කුකුරුමාන් කොළ, කහ, ලුණු සමග කොට මළවා බඳියි. ගඩුවලට, දොඬම් ගෙඩියක ඇස්ස කපා මිල්ල මල් දමා උණු අළුවෙන් තම්බා දොඬම් ඇඹුලෙන් අඹරා ගඩුවේ ගෑ යුතුය. හිසේ කැක්කුමට හා සන්නි රෝග සඳහා මිල්ල පොතු ඉස්ම සහ පොල් කිරි කකාරා බොන්නට දීම හා හිසේ ගැල්වීම සිදු කරයි. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මිල්ල පොතු පත්තු, ප්‍රලේප, මැල්ලුම් ආදීය සඳහා විවිධාකාරයෙන් භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

0 comments:

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support