දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Sunday, July 23, 2017

පතඟි [Patagi] (Caesalpinia sappan)

පතඟි මීටර් 10 පමණ උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. මේරූ කඳ දුඹුරු පැහැති වන අතර පොතු ගැලවෙන ස්වභාවයක් දක්නට ලැබේ. අතුවල තියුණු කටු පිහිටා තිබේ. සෙ.මි. 25-40 පමණ  දිග ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් දීප්තිමත් කහ පැහැයෙන් යුක්ත ය. ඵලය තියුණු තුඩක් සහිත පැලෙන කරලකි. එක් කරලක් තුල කළු දුඹුරු පැහැති බීජ 2-4 සංඛාවක් පිහිටයි. පතඟි Fabaceae  උද්භිද කුලයට අයත් ශාකයකි.

අතීසාර, සංග්‍රහණි, ප්‍රවාහිකා, රක්තප්‍රදර, ශ්වේතප්‍රදර, චර්ම රෝග, ආහාර දිරවීමේ දෝෂ, ළදරු අතීසාරය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් පතඟි ශාකයේ අරටුවත් අවශේෂව කොළත් භාවිතා කරයි. පතඟි අරටුව පිත නසන, ග්‍රාහී, රක්ත සංග්‍රාහක, ගර්භාෂය උත්තේජනය කරන, වණ රෝපණය කරන, රුධිර දෝෂ නසන ගුණ සහිතයි. පතඟි කොළ විෂබීජ නාශක ගුණයෙන් යුක්තය. රත් හඳුන් නොමැති විට එ් වෙනුවට ඖෂධ සඳහා භාවිතා කිරීමට සුදුසුම ශාකය පතඟි ය.  

පෙනහැල්ලෙන්, ගර්ශාෂයෙන් සහ අන්ත්‍රවලින් සිදුවන රුධිර වහනය වැලැක්වීම සඳහා පතඟි අරටුව කසාය කර බීමට දෙයි. අලුත් සහ කල්ගතවූ වණ සඳහා ඉතා සියුම්ව සකසාගත් පතඟි අරටුවේ චූර්ණය ඉසීමෙන් වහා වණ රෝපණය වෙයි. ලේ ගැලීමද වහා නවතී. පතඟි අරටුව ගලගා ආලේප කිරීමෙන් ඇතැම් චර්ම රෝග සුව වෙයි. චර්ම රෝග, ළදරු අතීසාරය, අහාර දිරවීමේ දෝෂ ආදී රෝග සඳහා පතඟි ක්වාතය භාවිතා කරයි. අතීසාර, සංග්‍රහණි, ප්‍රවාහිකා, රක්තප්‍රදර, ශ්වේතප්‍රදර ආදී රෝග සඳහා පතඟි අරටුවේ කෂාය සහ චූර්ණය බෙහෙවින් ප්‍රතිඵලදායකය. 

පතඟි ශාකයේ අරටුවෙහි ඇති වර්ණක නොයෙක් කාර්යක් සඳහා භාවිතයට ගනී. පෙර කළ මෙරට බෞද්ධ භික්ෂූන්වහන්සේලා සිවුරු පඬු පෙවීම සඳහා පතඟි අරටුව තම්බාගත් ජලය භාවිතා කර ඇත. අද ද ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා එම කාර්යය සඳහා වෙනත් ශාක කොටස් සමඟ පතඟි අරටුව යොදා ගනී. මෙරට විහාර කර්මාන්තයේදී භාවිතා කළ ස්වභාවික වර්ණක ලබා ගනීමටත්, පන් කර්මාන්තයේදී පැදුරු සහ විසිතුරු නිමැවුම් වර්ණගැන්වීමටත් පතඟි අරටුව භාවිතා කර ඇත. ඉන්දියාවේ ඉතා ප්‍රකට "හෝලී" උත්සවයේදී ඔවුනොවුන් අතර ඉසගන්නා වර්ණවත් සායම් වර්ග සෑදීමටත් පතඟි අරටුව භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support