දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, June 23, 2014

නික [Nika] (Vitex negundo)

වාත රෝග සඳහා බහුලව භාවිතා කරන ප්‍රකට ඖෂධයක් වන නික මීටර් 8 ක් දක්වා උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. පරිනත ශාකයෙහි පොත්ත රතු දුඹුරු පැහැති වන අතර තුනී පටලමය පටි ලෙස පොතු ගැලවී යයි. ළපටි අතු සුදු පැහැති බූවක් සහිතය. පහලින් පිහිටන අතු පොළව සමඟ ස්පර්ෂවූ විට මුල් අදී. පත්‍රිකා 3 ක් හෝ 5 ක් සහිත සංයුක්ත පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. නික කොළ කීක්ෂණ සුවඳකින් යුක්ත ය. බහු අක්ෂමය පුෂ්ප මංජරියක හට ගන්නා නිල්, දම්, රෝස හෝ සුදු පැහැති කුඩා මල් සුවඳවත් ය. දම් හෝ කළු පැහැති මාංසල ඵලය තුල බීජ 4 පමණ පිහිටයි. නික Verbenaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ඇතමුන් මෙම උද්භිද ලක්ෂණම පිහිටන දම් හෝ දුඹුරු පැහැයට හුරු කොළ සහිත නික ශාකයක් කළු නික ලෙස හඳුන්වයි. එහෙත් එය නික (Vitex negundo) ශාකයේම ප්‍රභේදයක් මිස කළුනික නොවේ. කළුනික ශාකයේ උද්භිද නාමය Litsea iteodaphne වන අතර එය දවුල්කුරුඳු ශාකයට තරමක් සමාන සරල පත්‍ර සහිත Lauraceae කුලයට අයත් ශාකයකි. එම නිසා කළුනික සොයන අය වෙත්නම් ඔවුන් තවත් නික (Vitex) විශේෂයක් සෙවීම නිශ්ඵලය කාර්යයක් බව කිව යුතුය.

වාත රෝග, ඉදිමුම්, ආමවාතය හෙවත් ආතරයිට්ස්, ගෘධ්‍රසි, නාසාරන්ධ්‍ර ශෝථය, නාග විෂ, දද කුෂ්ඨ, ඇස් රෝග, කර්ණ රෝග, ප්ලීහාව ඉදිමීම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී නික ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ගෙඩි ආදිය භාවිතා කරයි. නික වාතය සහ වේදනාවන් සමනය කරන, ඉදිමම් නසන, ආර්තවය ජනනය කරන, මුත්‍රකාරක, කුෂ්ඨ සහ පණු රෝග නසන, වණ ශේධනය සහ රෝපණය කරන ගුණ සහිතයි. නිර්ගුණ්ඩ්‍යාදී තෛලය, නිර්ගුන්ඩි කෂාය නික යොදා නිපදවන ඖෂධයන්ය. 

වාත රෝග අවස්ථා සහ වේදනාවන්ට නික මුල් හෝ මුලේ පොතු යෙදූ කෂාය දීම සහ නික කොළ පොට්ටනියෙන් තැවීම සිදු කරයි. ආමවාතය නිසා හටගත් ඉදිමුම් සඳහා නික කොළ කොටා මලවා මඳ උණුසුමින් බැඳීම හා මුල් හෝ කොළ කෂාය යොදා ප්‍රතිකාර කරයි. ගෘධ්‍රසියට කොළ කෂාය දෙයි. දද, වණ සහ චර්ම රෝගවලට කොළ තම්බා සේදීම, යුෂ ආලේප කිරීම, ගෙඩි ස්වරසය ප්‍රලේප කිරීම, මල් ප්‍රලේපය තැවරීම ආදිය ගුණදායකය. නික කොළ තම්බාගත් ජලය ඇස් රෝගවලදී ඇස් සේදීමටත්, චර්ම රෝගවලදී අදාල ස්ථානය සේදීමටත් භාවිතා කරයි. නික පත්‍ර ස්වරසය කල්ගතවූ පණුවන් සහිත වණ යෙදීමට යොදා ගනී. වණ නිසා හටගත් ඉදිමුම් සහ ගෙඩි ඉහිරවීමට නික මල් ප්‍රලේපය යොදයි. කොළ යුෂ යොදා සිඳ ගත් තෙල් කණේ රෝගවලදී භාවිතා කරයි. 

නික කොළ තැම්බූ වතුරින් නෑම සහ ඇඟ තැවීම අලුත දරුවන් ලැබූ මව්වරුන්ට මෙන්ම වාත රෝගවලින් පෙලෙන අයට ඉතාමත් ගුණදායකය. නික මුල් කලං 12 කෂාය හන්දිපත් වේදනා, අතපය රුදා, තුනටිය අමාරු වැනි රෝග පීඩාවලින් පෙළෙන අයට මහඟු ඔසුවකි. නික, පාවට්ටා, එඬරු කොළ, ඉඟුරු, සුදුළුනු කොට්ට පොල් සමව ගෙන පොට්ටනි බැඳ තම්බා මඳ රස්නෙන් ඇඟ තැවීමෙන් තුනටිය වේදනා, හන්දි අමාරු සහ ඉදිමුම්වලට සහනදායී ප්‍රතිකාරයකි. දරුවකු බිහි කළ මවක් ප්‍රසූතියෙන් පසුව අධික උණ වේදනාවකින් පීඩා විඳින විට අහු, කොහොඹ, කරපිංචා නැටි, ආඩතෝඩ, සුදුළුනු, නික මුල්, ඉඟුරු කළං එකයි මංචාඩි 14 බැගින් ගෙන පත 8 එකට සිඳුවා කෂායක් සාදා උදේ භාගයයි සවස භාගයයි බීමට දීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. ඇඟ සීතල කරන උණටත් මේ කෂාය ගුණදායක ය. කුඩා දරුවන්ගේ කටේ දත් එන කාලයෙදී ඇති වන වේදනාවන් සහ නොසන්සුන් බවට නැඟෙනහිර දිශාවට වැඩුණු අත්තක් ඇති සුදු මල් පිපෙන නික ශාකයක මුල් කැබැල්ලක් සුරයක් සේ දරුවගේ බෙල්ලේ එල්ලීම අතීතයේ බහුලව භාවිත කළ කෙම් ක්‍රමයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ  රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
Share:

7 comments:

දුමින්ද පුෂ්ප කුමාර said...

ස්තූතියි වටිනා දැනුවත් කිරීමට

Unknown said...

ස්තුතියි !

Unknown said...

ස්තුතියි ඔබට...!!!

Unknown said...

ස්තූතියි 🙏

Unknown said...

හුගාක් ස්තූතී.....

Unknown said...

හුගාක් පිං අපිට දැනුම ලබා දෙනවට

Unknown said...

ස්තූතියි!

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support