දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, September 15, 2014

කොතලහිඹුටු [Kotalahibutu] (Salacia reticulata)

කොතලකෙමිය යනුවෙන්ද හඳුන්වන කොතලහිඹුටු පඳුරක් ලෙස වැවෙන දැඩි කඳක් සහිත කාෂ්ඨීය වැලකි. කඳ අළු පැහැයට හුරු සුදු පැහැතිය. ඉලිප්සාකාර හෝ අණ්ඩාකාර හැඩයක් සහිත පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක දිග සෙ.මි. 12 ක් සහ පළල සෙ.මි. 5.5 ක් දක්වා වර්ධනය වේ.පත්‍රයේ උඩ පෘෂ්ඨය දිලිසෙන ස්වභාවයක් ගනී. යට පෘෂ්ඨය ළා පැහැති වන අතර සියුම් නාරටි සහිත කැපී පෙනෙන ජාලාභ නාරටි වින්‍යාසය වෙනත් Salacia විශේෂ වලින් වෙන්කර හඳුනා ගැනීම පහසු කරයි. කක්ෂීය පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ඵලය රළු පොත්තක් සහිත ගෝලාකාර අෂ්ටිලයකි. ඉදෙන විට දීප්තිමත් රෝස පාටට හුරු තැඹිලි පාටක් ගනී. එය අගනා පළතුරකි. ඵලයෙහි නටුව සම්බන්ධ වන ස්ථානයේ ඉහලට පිහිටන නෙරුම ද කොතල හිඹුටු අනෙක් හිඹුටු වර්ගවලින් වෙන්කර හඳුනා ගැනීමට උපකාරී වෙයි. කොතලහිඹුටු ශාකය පහසුවෙන්ම හඳුනා ගත හැකි තවත් ප්‍රකට ලක්ෂණයක් වන්නේ ක‍ඳේ හරස්කඩේ ඇති පැහැදිලිව පෙනෙන වලයාකාරව පිහිටන අලංකාර වෛරම් ය. මේවා නිසා කොතලහිඹුටු කඳ වටිකාකමින් ඉහල කෝප්ප, ජොග්ගු වැනි භාණ්ඩ නිපදවීමටද භාවිතා කරයි. වඳවීයාමේ තර්ජනයටද ලක්වී ඇති වටිනා දේශීය ශාකයක් වන කොතලහිඹුටු Hippocrateaceae උද්භිද කුලයට අයත් ය. 

කොතලහිඹුටු දියවැඩියා රෝගය සඳහා සාර්ථකව යොදා ගත හැකි බව පර්යේෂණාත්මකව තහවුරු කර ඇත. එමෙන්ම විෂමේහ, ආමවාත, චර්ම රෝග, ප්‍රමේහ, වණ ආදියට ප්‍රතිකාර කිරීමේදී කොතලහිඹුටු ශාකයේ මුල්, පොතු හා වැල භාවිතා කරයි. කොතලහිඹුටු වණ ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන ගුණයන් සහිතයි. 

දේශීයව විෂමේහ, මධූමේහ, ශර්කරාමේහ ඇතුළු මේහ රෝග  රෝග සඳහා කොතලහිඹුටු බහුලව භාවිතා කර ඇති බවත්, මේහ චිකිත්සාවේ එන ඖෂධ යෝග බොහෝමයක යෙදී ඇති බවත් සඳහන්. විශේෂයෙන් මේහ රෝගීන්ගේ පිපාසය නැති කිරීමට යොදා ගෙන ඇත. කොතලහිඹුටු පමණක් තම්බා පානය කිරීමෙන් දියවැඩියාව පාලනය කර ගත හැකි වේ. දියවැඩියාවේ ඉදිරි අවස්ථාවක් වන මධුමේහයට ප්‍රතිකාර කිරීමේදී කොතලහිඹුටු කලං 12 කෂායද, කොතලහිඹුටු වෙනත් ඖෂධ සමඟ යෙදූ යෝගද භාවිතා කරයි. වණ චිකිත්සාවේදී කොතලහිඹුටු මුලේ පොතු යෙදූ පත්තු සහ මැල්ලුම් යොද ගනී. 

කොතලහිඹුටු මුල් වැඩි ප්‍රමාණයක් දිනපතා තම්බා පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත වැටිය හැකි බවත්, ඒ හේතුවෙන් ක්ලාන්තය, ඇස් නිලංකාර වීම වැනි කම්පන ලක්ෂණ සහ ඇතැම් විට මරණය පවා සිදු විය හැකි බව දක්වා ඇත. ඒ නිසා දියවැඩියාවට කොතලහිඹුටු භාවිතා කරන්නේ නම් රුධිරයේ සීනි මට්ටම ගැන නිරන්තර අවධානයෙන් පසු වීම අතිශයින් වැදගත් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 
ගෙඩි සහිත සේයාරුව Tirantha Manuranga මහතාගෙන් 
Share:

3 comments:

වේරගල දම්සක් දහම් සෙවන said...

තෙරුවන් සරණයි

Unknown said...

ගර්භනී කාලයේ පාවිච්චි කිරීම සුදුසුද

Palitha Udayanga said...

කලලයට අවදානම සහිත බිය හැක

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support