දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, August 8, 2016

කොබෝලීල [Koboleela] (Bauhinia sp.)

රතු කොබෝලීල (Bauhinia purpurea)
සුදු කොබෝලීල (Bauhinia acuminata)
කහ පෙතන් (Bauhinia tomentosa)

බෞද්ධ සූත්‍ර පිටකයෙහි ඇතැම් අවස්ථාවල පරසතු යනුවෙන් හඳුන්වා ඇත්තේ ද කොබෝලීල ශාකය යි. "ඔබ රමණීය සිත්කලු පරසතු නම්වූ කොබොලීල මල් රැගෙන ගී ගයමින් දිව මල්දම් ගොතමින් සතුටු වෙහි." යනුවෙන් ඛුද්දක නිකායට අයත් විමාණ වස්තුවෙහි සඳහන් වේ. ගිනිකොන දිග ආසියාව නිජබිම ලෙස සැලකෙන කොබෝලීල ශාක ඉන්දියාවට දේශීය වන අතර ඇතැම් විශේෂ මෙරටට හඳුන්වාදී වගා කර ඇත. මෙලෙස මෙරට වගාකර ඇති Bauhinia විශේෂ රැසක් ඇතත් වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල දැක්වෙන්නේ ඉහත සඳහන් වර්ග ගැන පමණි. සිනිඳු දුඹුරු පැහැති පොත්තක් සහිත මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් වන මෙහි සරල ඒකාන්තර පත්‍ර හෘදයාකාර හැඬයකින් යුක්ත ය. පත්‍රයේ කොටසක් ඛන්ඩිකා දෙකකට බෙදී පවතී. පුෂ්ප මංජරියක ගට ගන්නා විශාල අලංකාරවත් මල් සුවඳවත් ය. සුදු, දම් හා ළා රතු පැහැති මල් හට ගනී. මෙම උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ දෙකක් ඇති අතර ඉන් එක් වර්ගයක් කහ පැහැති මල් හට ගන්නා කහ කොබෝලීල හෙවත් කහ පෙතන් (Bauhinia tomentosa) ය. අනෙක් දේශීය ශාකය මයිල (Bauhinia racemosa) වන අතර ඇතැම් අවස්ථාවල මයිල ශාකය ද සුදු කොබෝලීල ලෙස හඳුන්වා ඇතත් එහි ඖෂධීය භාවිතාවන් ගැන පොතපතෙහි වෙනමම සඳහන් කර ඇත. එකම ගණයේ ශාක විශේෂ වුවද මයිල මල් අනෙක් Bauhinia විශේෂවලට සාපෙක්ෂව බෙහෙවින් කුඩාය. මයිල ශාකයේ ඖෂධීය භාවිතාවන් ගැන ලිපියක් මෙහි ද පලකර ඇත. පෙබරවාරි සිට අප්‍රේල් කාලයේ කොබෝලීල ශාකවල මල් හට ගනී. ඵලය පැලෙන සුළු කරලකි. කරලක් තුල බීජ 6-15 පිහිටා තිබිය හැකි ය. ගෙවතු සහ උද්‍යාන අලංකරණය සඳහා ද මාර්ග දෙපස සෙවන සඳහා ද වැවිය හැකි කොබෝලීල ශාක Fabaceae කුලයට අයත්ය.  


වණ සේදීමට, වණ රෝපණයට, අතීසාර, ප්‍රවාහිකා, ගුද භ්‍රංශ, රක්තඅර්ශස්, රක්ත පිත්ත, ඇදුම, ක්ෂය රෝගය, රකත ප්‍රදර, පණු රෝග, ගණ්ඩමාල රෝගය, කුෂ්ට, මලබද්ධය ආදී රෝගාබාධ බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට කොබෝලීල ශාකයේ පොතු, කොළ, මුල්, මල් ඇතුළු පංචාංගයම භාවිතා කරයි. පොදුවේ ගත්කල කොබෝලීල වර්ග සියල්ලම ගුණයෙන් සමාන ලෙස සලකා ඇතත් රතු කොබෝලී ගලගණ්ඩ රෝගයට විශේෂයෙන් ගුණදායක බව සඳහන් කර ඇත. 

වණ සේදීමට කොබෝලීල පොතු තැම්බූ ජලය භාවිතා කරයි. අර්ශස් රෝගයට ඉතා සියුමව සකසා ගත් මෙම මුල් චූර්ණය මෝරු සමග දෙයි. ගණ්ඩමාල රෝගයට ප්‍රතිකාර ලෙස කොබෝලීල පොතු චූර්ණය හෝ කෂාය බීමට දීම සහ පොතු අඹරා ආලේප කරයි. මෙම පොතු තම්බා එම වතුරින් කට සේදීම මුඛ රෝග සඳහා ප්‍රතිකාරයකි. කොබෝලීල මල් සීනි සමඟ ලිප තබා පැසවූ මිශ්‍රණය මල බද්ධයට ඉතා හොඳ මෘදු විරේකයකි. සර්ප විෂට ප්‍රතිකාරයක් ලෙස කොබෝලීල පංචාංගය පොල් විනාකිරි සමඟ කෑ මුඛයේ ගෑම සිදු කරයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති   
Share:

3 comments:

Anonymous said...

මෙහි බේත් ලයිස්තුව අකාරාදි පිලිවෙලට හැදුවොත් අගනේයි


අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

පල කරන පිළිවෙලට තමයි මේ ලැයිස්තුව හැදෙන්නේ. දන්න තරමින් එය වෙනස් කරන්න හැකියාවක් නෑ.

Unknown said...

Mata poddak thumba palaya gana wisthara danna

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support