දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, June 18, 2018

මැඩහඟු [Medahagu] (Pergularia daemia)

දෙමළ භාෂාවෙන් වේලිපරිත්ති යනුවෙන් හඳුන්වන මැඩහඟු පඳුරුමය ශාක මත පැතිරී වැඩෙන කිරි සහිත කුඩා බහු වාර්ෂික වැල් ශාකයකි. කඳහි සුදු පැහැති බූවක් පිහිටයි. සම්මුඛව පිහිටන සරල පත්‍ර පුළුල් ලෙස අණ්ඩාකාර, හෘදයාකාර හෝ තරමක් වටකුරු හැඩයක් ගනී. පත්‍ර තලයේ උඩු පෘෂ්ටය සිනිඳු වන අතර යට පෘෂ්ටය විල්ලුද ආකාරයේ බූවක් දරයි. පත්‍රයක් දිගින් සෙ.මි. 10 සහ පළලින් සෙ.මි. 8 පමණ වේ. පත්‍ර නටුව සෙ.මි 2-9 දක්වා දිගු විය හැකිය. කක්ෂීයව හට ගන්නා ඒකාක්ෂ පුෂ්ප මංජරියෙහි කොළ පැහැයට හුරු සුදු පැහැති මල් රැසක් හට ගනී. ඵලය කිරි සහිත වරාවකි. බොහෝ විට යුගල වශයෙන් දැක ගත හැකිය. එලාවරණය පුරා කටු වැනි ව්‍යුහ පිහිටා තිබේ. ඵලයක් තුල දුඹුරු පැහැයට හුරු සුදු පැහැති, ප්‍රත්‍යණ්ඩාකාර හැඩැති බීජ රාශියක් පිහිටා තිබේ. මැඩහඟු   Apocynaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. මෙම උද්භිද කුලයටම අයත් හීං මැඩහඟු යනුවෙන් හඳුන්වන තවත් දේශීය ශාකයක් ඇති අතර එය  Oxystelma esculentum යන උද්භිද නාමයෙන් හඳුන්වා ඇත. 

චර්ම රෝග, පණුරෝග, වණ, අර්ශස්, භගන්දර, කැස්ස, ඇදුම, මුත්‍රඅඩස්සිය, මුත්‍රගල්, සර්ප විෂ, අක්ෂි රෝග, ඉදිමුම්, කුසගිනි මදිකම, ළදරු කෘමි රෝග, වමන, ප්‍රතිශ්‍යා, මාන්දම ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මැඩහඟු ශාකයේ කොළ, මුල්, මල් ඇතුළු ශාකයේ සියලූම කොටස් භාවිතයට ගනී. මහා නාරායන තෛලය, අර්ශස් තෛලය, අගුර්වාදී තෛලය, සුකුමාර රසායනය, බුද්ධරාජ බස්නය අැතුළු මැඩහඟු යොදා නිපදවන ඖෂධ රැසක්ද ඇත.

කුඩා දරුවන්ගේ කෘමි රෝග සඳහා මැඩහඟු කොළ කෂාය යොදා ප්‍රතිකාර කරයි. මෙම කොළ හුණු සමඟ අඹරා ගෑමෙන් වාත වේදනා සමනය වෙයි. පත්‍ර ස්වරසය අමු ඉඟුරු සමඟ යෙදීමෙන්ද වාත වේදනා සමනය වේ. වණ සඳහා පත්‍ර ප්‍රලේපය යොදා ගනී. ආර්තවය සිදු නොවීම සහ ආර්තව වේදනාවන්ට මැඩහඟු මුලේ පොතු චූර්ණය මදටිය ඇටයක ප්‍රමාණ 2 ක් එළකිරි සමඟ වැළඳිය යුතුය. වාතව්‍යාධි, මුත්‍ර ගල් සහ මුත්‍ර අඩස්සිය සඳහා මැඩහඟු, ගල්කූර, අරත්ත අල, පාවට්ටා, පොල්පලා, නෙරෙංචි, කුරුඳු පොත්, රන්වන් කටුකරඬු, වැලුක්, රසකිඳ, සුවඳහොට, තොටිල, මුරුවා, කෙසෙල් අල, කුඹුක් පොතු කෂාය කර පානය කළ යුතුය. මැඩහගු මුල් අඹරා මැටි බඳුනක ඇතුලත ආලේප කර, එයට දීකිරි හෝ මෝරු වත්කර තබා බීමට ගත යුතුය. ගුල්ම, භගන්දර, අර්ශස් සහ අක්මා රෝග නැසීමටත්, කුසගිනි වැඩි වීමටත් මැඩහඟු, ඇඹුල්ඇඹිලිය, රත්නිටුල් සහ වල් කිඩාරම යන මේවායේ චූර්ණය භාවිතා කළ යුතුය. සියළු සර්ප විෂට  මැඩහඟු මුල්, මුරුංගා කොළ, අත්තන පොතු සමව ගෙන කොටා ධූම දීය යුතුය. මැඩහඟු කොළ සහ මදුරුතලා කොළ එක්ව යොදා ගෙන වමන කර්ම කළ හැකි බව සඳහන්. මැඩහඟු යුෂයෙන් අඹරා සකසන වෙල්ලෙයි වෙන්ගායම් ගුලි උණ, ආමවාත, රුධිරයේ මේදය අධික වීම ආදී රෝග සඳහා සිද්ධ වෙෙද්‍යවරු අතර ඉතා ජනප්‍රිය ඖෂධයකි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති 
Share:

0 comments:

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support